අධ්‍යාපනය


රටේ පවතින්නේ විභාග ඉලක්ක කර ගත් නිෂ්ඵල අධ්‍යාපන ක්‍රමයකි.අධ්‍යාපනය රටේ අවශ්‍යතාව නොහඳුනයි. අධ්‍යපනඥයින් යැයි කියාගත් පිරිසක් තම ජාතිය හා රට වැනසූ සතුරු ආක්‍රමණිකයින් විසින් ලියන ලද පොත පතින් උපුටාගත් න්‍යායන් ඇතුළත් කර විෂය නිර්දේශ හා පොත පත සකස් කරති.ප්‍රායෝගික දැනුම අනවශ්‍ය යැයි සිතන ඔවුන් කෘෂිකර්මය, පරිගණක විද්‍යාව වැනි ප්‍රායෝගික විෂයන් වලින් පවා  ප්‍රායෝගික දැනුම මැන බැලීමකින් තොරව විභාග පවත්වා සිසුන් සමත් කරවති. විභාග සමත් වෙන්නන් අතර දක්ෂයෝ සිටින්නේ කලාතුරකිනි. ලබා ඇති සහතික වලින් දක්ෂයින් මැනීම සිදු වුවද ඔවුන් සැබෑ දක්ෂයින් නොවන බව ප්‍රායෝගික වැඩ වලදී  නිරන්තරයෙන් ඔප්පු කරති.

මොවුන් ලබාගත් සහතිකත්, දේශපාලකයන්ට කත් ඇදීමත් යන සුදුසුකම් සපුරා රටේ ඉහළ නිළතල ලබා ගනිති. රටේ සම්පත් කාබාසිනියා කරමින් පිස්සු කෙලිති.රටේ මහජනතාවගේ බදු මුදලින් අධ්‍යාපන ලබන මොවුන්ගෙන් සමහරක් එම ජනයාට සේවය නොකොට කොකා පෙන්නා පිටරට පනිති.

දරුවන් කුඩා කල අධ්‍යාපනය ලබන්නේ දෙමාපියන්ගෙනි. දරුවන් ඔවුන්ගෙන් අධ්‍යාපනය ලබන බව බොහෝ දෙමාපියන් නොදනිති. පවුලේ වැඩිහිටියන් ද නොදනිති. එබැවින් ඔවුන් දරුවාට ආදර්ශයක් නොදී ම සිත් සේ හැසිරෙති. එහි ප්‍රතිඵල වන්නේ දරුවා පොඩි වැඩිහිටියෙකු වීමයි. ළදරු පාසලේ දී ගීතයක් ගයන්නට කී විට පොඩි එකා වැඩිහිටියන්ගේ විරහ ගීතයක් ගයයි. සමහර  අම්මලා එය මහ ලොකු කමක් සේ සිතති.වැඩිහිටි කතා පැවසීම ද මහා ලොකු කමකි. දරුවාට උචිත දෑ ඉන් පසු ලබා දෙන්නේ රටේ මාධ්‍යයි. ඔවුන් ආර්ථික වාසි තකා දරුවන්ගේ මොල විකෘති කරති. එක පාරට තටු ලැබී ඉගිල්ලෙන නරුම වැඩ කරන මිනිසුන් පෙන්වති, ඔරලෝසුවට ගැසීමෙන් මතුවන වීරයෝ පෙන්වති.මකුළු දැල් ගොතා බිත්ති වල බඩ ගා යා හැකි මිනිසුන් ගේ වීරක්‍රියා පෙන්වති. දරුවන්ට පියවි ලෝකය, ගහකොල, සතා සිව්පාව, කරුණාව  ආදිය අමකත කරවති.ටොපියක් යෝගට් එකක් විකුණා ගැනීමට දරුවන් ලවා ප්‍රසිද්ධියේ බොරු කියවති.ආහාරයක් වෙනුවෙන් රන්ඩුවීම හුරුකරවති.

ඉන්පසු දරුවන්ට අධ්‍යාපනය ලැබීමට  යාමට සිදුවන්නේ පෙර පාසල වෙතයි. අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ නිර්නායක නොමැති විවිධ තාලයේ පෙර පාසල් ගුරු මතාවන් වෙත දරුවාගේ අධ්‍යාපනයේ අත්තිවාරම හෙවත් පදනම  දැමීමට භාරවේ. වටේට නටා ගීතයක් කියූ සැනින්, පරිප්පු ඇට පොතේ ඇල වූ විට, ගීතයකට නැටුමක් රඟ දැක්වූ පමණින්, පර භාෂාවකින් වචනදෙක තුනක් කථා කිරීමට හැකි වූ පමණින් දරුවාගේ යසස  වැඩී ඇතැයි බොලඳ දෙමාපියන් සිතති. එසේ යසස වැඩුනේ නම් මේ වන විට අප ජීවත් වනනේ ඉසුරුමත් රටකය. එසේ වූවා නම් තෝමස් අල්වා එඩිසන් වැනි විද්‍යාඥයින් බුරුතු පිටින් බිහිවිය යුතුය. ක්ෂේෂ්පියර් වැනි අග්‍ර ගණනයේ කලා කරුවන් රැසක් බිහි වනු නිසැකය. බිල් ගේට්ස් වැනි සුපිරි ව්‍යාපාරිකයින්, ලී ක්වාන් යූ වැනි ශ්‍රේෂ්ඨ දේශපාලකයින් බිහිවනු නිසැකය.

බොහෝ විට පෙර පාසලින් කුරවල් වන දරුවා ඊලඟට ඇතුළත් වන්නේ ප්‍රාථමික පාසල වෙතයි.එහිදී ගුරුවරුනට ලබා දී ඇති විෂය නිර්දේශ ඉගැන්වෙයි.ඉන්පසු දරුවාට ඇතුළත් වීමට සිදුවන්නේ ද්විතීක පාසලකටය. ද්විතීක අධ්‍යාපනය අවසන් කළ පසු යන්නේ කොහේද ඇසූ විට මල්ලේ පොල් කියන, ජීවිතේ ඉදිරි ගමන පිළිබඳ හරිහමන් සැළසුමක් නැති දරුවන් පිරිසක් බිහි වනු ලබයි. පුරා වසර දහයකට වඩා තම දිවිය අධ්‍යපනය වෙනුවෙන් කැප කළ දරුවන් වැඩි දෙනෙක් හිස් අතින් ගෙදර යවනු ලබයි.රටේ ආර්ථිකයේ මහා බර කරටගත් ගොවීන්, කම්කරුවන්, රියැදුරන් මෙන්ම රටේ ආරක්ෂාව කරටගත් යුධ සෙබලුන් අධ්‍යාපන නැමති ඉනිමගෙන් බිමට ඇද දැමූ මෙම දරුවන් අතරින් බිහි වෙයි. ලැබූ අධ්‍යාපනට වෛර කරන්නට තරම් වත් අධ්‍යාපන ක්‍රමය විසින් තමන්ට සිදුකළ  ආසාධාරණය ගැන ඔවුන් හාන්කවිසියක් නොදනිති. මහත් ඛේදවාචකය එය නොව මෙම ඉනිමගේ ඉහළට යනවුන්  සියළුම දෙනා පාහේ මොවුන් මහත්සියෙන් උපයා ගන්නා මුදලෙන් යෑපීමයි. එය කෙළින්ම සිදු නොවන නිසා බොහෝ අයට නොවැටහේ.

එකෙකු දෙන්නෙකු මෙම කඩ ඉමෙන් එගොඩ වී ඊ ලඟ කඩඉම කරා ගමන් කරති.බිත්තර දැමීමට ගඟ දිගේ ඉහළට ගමන් කරන සැමන් මාළු රැලකට අත් වන ඉරණමට සමාන ඉරණමක් ඔහුනට අත්වේ. උසස් අධ්‍යාපන ලැබීමට ඉන් එකෙකු දෙන්නෙකු සමත් වුවද බොහෝ අය බලාපොරොත්තු සුන් කරගමින් අධ්‍යාපන ධාරාවෙන් ඉවතට විසි වී යයි.

උසස් අධ්‍යාපනයට වරම් ලද දරුවන් ඊ ලඟට පිවිසෙන්නෙ රටේ ඉහළම අධ්‍යාපන ආයතන වන විශ්වවිද්‍යාල වලටයි. තවත් ඛේදවාචකයක් වන්නේ එකතැන පල්වෙන විෂය කරුණු වලින් හිස් පුරවා ගන්නා ඔවුන්ගෙන් බහුතරය උපාධියක් ලැබූවද ජයග්‍රාහකයින් නොවීමයි. රටේ ඉහළම අධ්‍යාපන ආයතනයකින් අධ්‍යාපනය ලද්දේ නම් රැකියාවක් ලබා දීමට කැමත්ත පළකරන පිරිස් ඔවුන්ගේ දොරකඩට පැමිණිය යුතු නොවේද? මේ මහා උගතා අපගේ ආයතනයට බඳවා ගැනීමෙන් මහාත් ඵල ලැබෙනු ඇතැයි ඔවුන්ට සිනෙන්නේ නම් ඔවුන් මෙම උපාධිධාරීන්ගේ දොරකඩට පැමිණ තම ආයතනයට බැඳෙන ලෙස ආයචනා කරණු නිසැකය.