ශබ්දකෝෂය

ඉල්ලන්කාවේ භාවිතා වන වචන බොහෝමයක් එම වචන වල අප දන්නා තේරුමට හාත්පසින්ම වෙනස්ය සමහර වචන අප භාවිතා කරන වචන වලට වඩා තරමක් වෙනස්ය.මෙම බ්ලොගය කියවන ජනයාගේ වැරදි වැටහීම් දුරලනු පිනිස පාරිභාෂිත වාග් මාලාවෙහි එන වචන සමූහයක අර්ථය මෙහි දක්වමි.

ඡන්දදායකයා - කිසිදු සමාජ අවභෝධයක් නැති මුග්ධ තැනැත්තා
දේශපාළුවා-     දේශය පාළු කරන්නා
පෙජාචන්ත්‍රවාදය- බල පුළුවන්කාරයින්ට පමණක් සියළු හිමිකම් හා වරප්‍රසාද සහිතව අසරණ ජනයා පාගා දමමින් වහළුන් ලෙස තබා ගනිමින් සමාජය පවත්වාගෙන යා යුතු යැයි දරණ මතය.
සාමය -    හදිසි නීතිය හා ඇඳිරි නීතිය වැනි නීති පනවමින් ජනයා බිය ගන්වමින්, සාමකාමී උත්ඝෝෂන වලට පහර දෙමින් විරුද්ධවාදීන්ට හිංසා කරමින් සමාජය පවත්වාගෙන යෑම

නිදහස් - නිදහස යන වචනය කෙටියෙන් පැහැදිළි කළ නොහැකිය. උදහරණයක් ලෙස නිදහස් ජාතිය යන්න ගෙන බලමු. බියෙන්, සැකයෙන්,ගැති බවින්, ණය බරින් මිරිකී ජිවත් වන ජාතිය නිදහස් ජාතියක් ලෙස සැළකේ. නිදහස් අධ්‍යාපනය යන්නෙහි නිදහස් යන්න තමාගේ කැමැත්තට ඉඩ නොදෙන, බුද්ධියට වැට බඳින, සැබෑ දක්ෂතා මරණ, ධීන යන අර්ථ වල යෙදෙයි.

රාජකාරිය - තමාට ඉහළින් සිටින තැනැත්තා හෝ තැනැත්තන්, ලොක්කා හෝ ලොක්කන් සතුටු කිරීම. එනම් ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කර දීම හා දැනට සිටින තනතුරෙහි වැජඹීමට හා ඊලඟ තනතුරට යෑමට අවශ්‍යතා ඉටු කර දීම.

සාධාරණයවගකීම් හා යුතුකම් අනුන් හට ඉටු නොකොට තමන්ට පමණක් ලැබිය යුතු බව.

උගත් - විභාග වලට ලියා හෝ නොලියා අදාල සහතික ලත්.

ජනමතය - දේශපාළුවන්, ඔවුන්ගේ හෙන්චයියලා හා මාධ්‍ය හසුරවන්නන් දරන මතය.

යහපාලනය - විරුද්ධවාදීන්ගෙන් පළිගනිමින්, බලතල අනිසි ලෙස භාවිතා කර පත් කිරීම් හා නිළයෙන් ඉවත් කිරීම් සිදු කරමින් ගෙනයන  පාලනය
සාහිත්‍යධරයා - අන් භාෂාවලින් ලියන ලද සාහිත්‍යකෘති අමුඅමුවේ පරිවර්ථනය කරන්නා.
භාෂා ප්‍රවීනයා/භාෂා විශාරද - සුමට බස රළු කරන්නා, පරභාෂිත වචණ එලෙසම යොදමින් භාෂාව විකෘති කරන්නා

අධ්‍යාපනඥයා - පරසතුරන් විසින් ලියන ලද අධ්‍යාපන මූලධර්ම අන්ධානුකරණය කරමින් ඔවුන්ගේ රටවල විෂය නිර්දේශ, විභාග හා න්‍යයායන්  පිටපත් කර  ඔවුන්ගේ රටවල සේවයට ගැලපෙන පරිදි විෂය නිර්දේශ හා පොතපත සකස් කරන්නා හෝ ඉදිරිපත් කරන්නා.

අවිකෑ (නව)- ඉල්ලන්කාවේ බිහි වූ නව වාදයකි. මෙහිදී නිරන්තරයෙන් පාලකයින්ගෙන් ජනතාවට අසාධාරණකම් සිදු වන බවත්, එම අසාධාරණ වලට සැබෑවට පිළියම් නොකොට පවත්වාගෙන යෑමට සැලැස්වීමෙන් හා තත්වය වර්ධනය වීමට සැළැස්වීම එක් පිරිසකට වාසි දායක වන බවත් පෙන්වා දෙන වාදයකි.

මරුමුස් - ඉල්ලාන්කිකයන් පිරිසක් අදහන ඝාතනය හා රැවටීම මුල් කරගත් ආගමකි.

මාරණාසන්න - ඉල්ලාන්කිකයින් පරිසක් අදහන ආගමකි. කම්මැලිකම වඩවන, දුක ගැන පැවසෙන සෞභාග්‍ය උදාකරගැනීමේ සැබෑ මගට අකුල් හෙළන  මරණයෙන් පසු වැඩි වැඩියෙන් අවශ්‍ය වන ආගමකි